මුහුණු පොත (Facebook) හරහා වාහන අලෙවියට දැන්වීම් පළ කර, එම වාහන විකිණීමෙන් පසු සංවිධානාත්මක ලෙස නැවත මංකොල්ලකෑ බවට සැක කෙරෙන ජාවාරමක් සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කල ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි. මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ රුපියල් ලක්ෂ 40කට මිලදී ගත් වෑන් රථයක් ගිනි අවි රැගත් පිරිසක් විසින් කොල්ලකෑ බවට ජූලි 1 වැනිදා ලැබුණු පැමිණිල්ලක් අනුවය.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශනවලදී, බැලුම්මහර–මුදුන්ගොඩ ප්රදේශයේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පොලීසිය පවසන්නේ, Facebook ඔස්සේ වාහන අලෙවිය සිදුකරන බවට දැන්වීම් පළ කර, ගනුදෙනුව අවසන් වූ පසු ගැනුම්කරුවන් පසුපස හඹා ගොස් වාහන කොල්ලකෑම මෙම කණ්ඩායමේ ක්රියාකාරීත්වය බවට මූලික විමර්ශනවලදී හෙළිව ඇති බවයි.
ප්රධාන සැකකරුවන් කිහිපදෙනෙකු, වාහන අලෙවිසැලේ හිමිකරු ඇතුළු පිරිස මේ වන විට ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මක වේ.
එම විමර්ශන අතරතුර නිට්ටඹුව පොලිස් වසමේ කළගෙඩිහේන ප්රදේශයේ නිවසක තිබී කඩු දෙකක්, පිස්තෝල මැගසින් දෙකක්, ජීව උණ්ඩ තුනක් සහ ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම කණ්ඩායමට එරෙහිව සමාන ආකාරයේ තවත් වාහන මංකොල්ලකෑම් දෙකක් සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.

