Homeසියලුම පුවත්අබුඩාබි සිට පිටුවහල් කළ සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී CID අත්අඩංගුවට

අබුඩාබි සිට පිටුවහල් කළ සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී CID අත්අඩංගුවට

අබුඩාබි සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද (03) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම, නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා මෙරට පොලීසියට අවශ්‍යව සිටි බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අශෝකපුර, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ බන්ධුල දිසානායක සහ කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර යන දෙදෙනාය.

ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල දර්ශන තම ජංගම දුරකථනවල ගබඩා කරගෙන සිටි බවට වූ චෝදනාවක් මත මොවුන් දෙදෙනා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබූ බව සඳහන් වේ.

පසුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.15ට ඉටිහාඩ් ගුවන් සේවයට අයත් EY-392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණි සැකකරුවන් දෙදෙනා CID නිලධාරීන් විසින් භාරගෙන තිබේ.

එහිදී ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් අදාළ විමර්ශන ඒකක වෙත යොමු කර ඇත.

ඒ අතරින් බන්ධුල දිසානායක නමැත්තාට මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා පවතින බව සඳහන්ය.

හර්ෂ කුමාර නමැත්තා ‘පරෙවි සුදා’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවත්, මීට පෙර බූස්ස බන්ධනාගාරය තුළ සිදුවූ කලහකාරී සිද්ධියකටද සම්බන්ධ පුද්ගලයෙකු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බන්ධුල දිසානායක නමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) වෙතත්, හර්ෂ කුමාර නමැත්තා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතත් දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ වැඩිදුර විමර්ශන සඳහා යොමුකර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments