Homeසියලුම පුවත්අම්පිටියේ සුමනරතන හිමියන්ට දැඩි කොන්දේසි මත ඇප

අම්පිටියේ සුමනරතන හිමියන්ට දැඩි කොන්දේසි මත ඇප

මඩකලපුව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයට ඇතුළු වී රාජකාරියේ නිරත රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදා හැර තිබේ.

පසුගිය අගෝස්තු 31 වැනිදා තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සමඟ අදාළ කාර්යාලයට ඇතුළු වූ සුමනරතන හිමියන්, එහි සිටි රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කළ බවට නිලධාරීන් විසින් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය සඳුදා (07) මඩකලපුව පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී, මඩකලපුව මහා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකුද අද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සුමනරතන හිමියන්ට ඇප ලබාදීමේදී මහේස්ත්‍රාත්වරිය දැඩි කොන්දේසි පනවා ඇති අතර, ඉදිරියේදී කිසිදු රජයේ දෙපාර්තමේන්තුවකට හෝ කාර්යාලයකට ඇතුළු වී මෙවැනි ආකාරයේ තර්ජනය කිරීම් සිදු නොකළ යුතු බවට නියෝග කර තිබේ.

එමෙන්ම නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් හෝ තර්ජනයක් සිදු නොකළ යුතු බවත්, සිද්ධියට සම්බන්ධව ප්‍රදේශයෙන් පලාගොස් සිටින අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට පූර්ණ සහය ලබාදිය යුතු බවත් අධිකරණය නියෝග කළේය.

මෙම කොන්දේසි කඩ කළහොත් ලබාදුන් ඇප අවලංගු කර නඩුව අවසන් වනතුරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවටද මහේස්ත්‍රාත්වරිය අනතුරු ඇඟවීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments