ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල ගණන් හේතුවෙන් ඉදිරි ඉන්ධන මිල සංශෝධනයේදී මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මාර්තු සහ අප්‍රේල් මාසවලට සාපේක්ෂව මේ වනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල යම් පමණකින් පහළ ගොස් තිබුණද, මැදපෙරදිග යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා තවදුරටත් ඉහළ අගයක පවතින බවයි.
අද (29) පස්වරුවේ ජාත්‍යන්තර තෙල් මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, ඉන්ධන මිල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, සාකච්ඡා වට කිහිපයකින් පසු මිල සංශෝධනය පිළිබඳ තීරණය කරනු ඇති බවද හෙතෙම පැවසීය.
එමෙන්ම, ඊයේ (28) දිනයේ WTI වර්ගයේ බොරතෙල් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර, එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගෙන ආ බවද සඳහන් වේ.
ඊට අමතරව, මැයි 31 වනදා මර්බන් වර්ගයේ තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, එහි මෙට්‍රික් ටොන් 95,000ක බොරතෙල් තොගයක් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකියි

