ගලේවෙල සහ දැරණියගල පොලිස් බලප්‍රදේශවලින් පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත ශරීර සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලේවෙල පොලිසියට ඊයේ (14) පස්වරුවේ ලැබුණු තොරතුරකට අනුව, වයඹ ඇළේ හල්මිල්ලාගම පීලිපාලම ආසන්නයේ තිබූ කාන්තා මෘත ශරීරයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මියගොස් ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වී ඇත. විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඇය මානසික ආබාධයකින් පීඩා විඳ ඇති අතර, ජූලි 13 වැනිදා රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බවයි.
අදාළ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, දැරණියගල පොලිසියට ලැබුණු තොරතුරක් මත බෝපකන්ද ඔයේ තිබූ පුද්ගල මෘත ශරීරයක් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව එම මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරණියගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන දැරණියගල පොලිසිය විසින් සිදු කරමින් පවතී.

