පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණින් මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ විය.
පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ, වත්මන් රජය ඥානසාර හිමියන්ට එරෙහිව අත්තනෝමතික ලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බවට තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බවයි.
අතීතයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැඟූ ආකාරයටම, ඥානසාර හිමියන් ද රට, ජාතිය සහ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් හඬ නැඟූ බව උන්වහන්සේ සඳහන් කළහ.
ඥානසාර හිමියන් සිරගත කර ඇත්තේ පෞද්ගලික කරුණක් වෙනුවෙන් නොව සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන් බවද උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ. එබැවින් උන්වහන්සේ තනි නොකර, කොන්දේසි විරහිතව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක් බවද උන්වහන්සේ අවධාරණය කළහ.
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි වාරියපොළ සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අසලින් ආරම්භ වූ මෙම අධිෂ්ඨාන පාගමන, ඥානසාර හිමියන් රඳවා සිටින ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතය.
ඥානසාර හිමියන්ට නිදහස ලැබෙන තෙක් සහ තමන් අසාධාරණයක් ලෙස හඳුන්වන තත්ත්වයට එරෙහිව ක්‍රියාත්මක කරන සටන අත් නොහරින බවද උලපනේ සුමංගල හිමියෝ පැවසූහ. පවතින මර්දනය හමුවේ අහිංසාවාදීව මෙම පාගමනට එක්වන ලෙසද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
මෙම පාගමන අද කඩුගන්නාව නගරයෙන් අවසන් කිරීමට නියමිතය.

