Homeසියලුම පුවත්දරුවන් අතර රෝග කිහිපයක් පැතිරීමේ අවදානමක්

දරුවන් අතර රෝග කිහිපයක් පැතිරීමේ අවදානමක්

මේ දිනවල දරුවන් අතර රෝග කිහිපයක් පැතිර යන බැවින් දෙමාපියන් සහ භාරකරුවන් වැඩි අවධානයෙන් පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත්-පා-මුඛ රෝගය (Hand, Foot and Mouth Disease) සහ මෙනින්ජයිටිස් රෝග තත්ත්වයන් මේ වනවිට දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
ඩෙංගු රෝගයේදී උණ, හිසරදය, ඇස් යට වේදනාව, ඇඟපත හා සන්ධි වේදනාව, වමනය සහ බඩඑළිය යාම වැනි ලක්ෂණ දැකිය හැකි අතර දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ඔහු අවධාරණය කළේය.
ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදී උණ සමඟ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ශරීර වේදනාව ඇතිවිය හැකි බැවින් එවැනි ලක්ෂණ පෙන්වන දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම වැදගත් බවද සඳහන් කළේය.
එමෙන්ම, අත්-පා-මුඛ රෝගයේදී අත්, පාද සහ මුඛය ආශ්‍රිතව රතු ලප හා බිබිලි මතුවිය හැකි අතර එවැනි දරුවන් දින කිහිපයක් නිවසේ රඳවා තබා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසද උපදෙස් ලබාදී තිබේ.
මෙනින්ජයිටිස් රෝගයේදී උණ, තද හිසරදය, වමනය, ආලෝකයට සංවේදී වීම සහ ශබ්දයට අපහසුතාවක් දැක්වීම වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම රෝග පැතිරීම අවම කිරීම සඳහා පිරිසිදු ආහාර භාවිත කිරීම, උණුකර නිවාගත් ජලය පානය කිරීම, අත් නිතර සේදීම සහ රෝග ලක්ෂණ පවතින විට මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments