Homeසියලුම පුවත්දින 10කින් දිවයින පුරා වර්ෂාව පැතිරීමේ පුරෝකථනයක්

දින 10කින් දිවයින පුරා වර්ෂාව පැතිරීමේ පුරෝකථනයක්

තවත් දින 10කින් පමණ දිවයින පුරා පැතිරුණු වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා මේ වනවිට සූදානම් වෙමින් සිටින අතර, ඉදිරියේදී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇතිවිය හැකි බවට පවතින පුරෝකථන අනුව කටයුතු කළ යුතු බවයි.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත්, එම කාලය තුළ ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල බෙංගාල බොක්ක ආශ්‍රිතව නිරන්තරයෙන් කැලඹිලි ස්වභාවයන් ඇතිවන අතර, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් එම තත්ත්වය තීව්‍ර විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එමෙන්ම දෙසැම්බර් මාසයේදී දිවයිනේ ඊශාන දිග ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

උතුරු සහ නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර, ඇතැම් අවස්ථාවලදී ඉන්දීය සාගර ද්විධ්‍රැවීය තත්ත්වය (IOD) හේතුවෙන් එම ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවා ඇතිවිය හැකි බවද අජිත් විජේමාන්න මහතා පෙන්වා දුන්නේය.

ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී උෂ්ණත්වය ඉහළ යන අතර වර්ෂාපතනය අඩු කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ දිවයිනට ලැබෙන වර්ෂාපතනය නිසි ලෙස කළමනාකරණය කරගැනීම වැදගත් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments