දිවයිනේ ප්රදේශ කිහිපයක ඊයේ (09) සිදුවූ වෙන වෙනම රිය අනතුරු හතරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්රී ලංකා පොලීසිය පවසයි.
පදවිය පොලිස් වසමේ බෝගස්හන්දිය – පුල්මුඩේ මාර්ගයේ දෙවන කිලෝමීටර් කණුව ආසන්නයේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන් එක් අනතුරක් වාර්තා වී තිබේ. පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් පැදිකරු, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ලබමින් සිටි පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ කල්අඩිය ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
අනුරාධපුර – රඹෑව මාර්ගයේ ගල්වල හන්දිය අසලදී කාර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තවත් මාරක අනතුරක් සිදුව ඇත. යතුරුපැදිය දකුණට හැරවීමට උත්සාහ කිරීමේදී ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම අනතුරින් යතුරුපැදියේ පැදිකරු, පසුපැදිකරු සහ කාර් රථ රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, පසුපැදිකරු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. ඔහු සාලියපුර ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
පොතුවිල් – අක්කරපත්තුව මාර්ගයේ ඌරනිය හන්දිය ආසන්නයේදී වෑන් රථයක් සහ ත්රිරෝද රථයක් ගැටීමෙන් තවත් පුද්ගලයෙකුට ජීවිතය අහිමි වී තිබේ. අනතුරේදී වාහන දෙකම පෙරළී ගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ වෑන් රථ රියැදුරු කල්මුණේ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇත. මියගිය පුද්ගලයා කාර්තිව් ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකි.
මේ අතර වැලිගම පොලිස් වසමේ සත්යා හෙට්ටිගේ මාවතේදී ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබේ.
එහිදී රියැදුරු සහ පසුපස ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා වලාන රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුපස ගමන් කළ 42 හැවිරිදි වැලිගම ප්රදේශයේ පදිංචිකරුවෙකු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය. තුවාල ලැබූ රියැදුරු වැඩිදුර ප්රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
මෙම අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

