Homeසියලුම පුවත්දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් සේවා සාමාන්‍ය පරිදි බව දෙපාර්තමේන්තුව කියයි

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් සේවා සාමාන්‍ය පරිදි බව දෙපාර්තමේන්තුව කියයි

දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළද, සියලු කාර්යාල දුම්රියන් මේ වනවිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා සඳහන් කළේ එක් දුම්රියක් හැර අනෙකුත් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සිටම දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වූ බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ විධායක නිලධාරීන් දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට උත්සාහ කළද, දුම්රිය ආදායම් වැඩි කරගැනීම සහ මගීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවද ඔහු චෝදනා කළේය.

වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන් බහුතරයක් එක්ව සිටින බවද, ඇතැම් ස්ථානාධිපතිවරුන් වර්ජනයට සහභාගී නොවී කටයුතු කරන බවද සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

මේ අතර, වර්ජනය ආරම්භ වීමට පෙර ඊයේ පස්වරුවේද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබූ අතර, ඒ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීන් අපහසුතාවට පත්විය.

කෙසේ වෙතත්, වර්ජනය ක්‍රියාත්මක වුවද සියලු දුම්රිය මාර්ගවල සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 13ක්, හලාවත මාර්ගයේ 11ක්, ප්‍රධාන හා උතුරු මාර්ගවල 15ක් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 7ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments