මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (18) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.
අද සිට දින 5ක් පුරා කුඹල් පෙරහැර පැවැත්වෙන අතර, ලබන 23 වනදා සිට රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ලබන 27 වනදා රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.
මේ අතර, අද පැවැත්වෙන පළමු කුඹල් පෙරහැර වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
පළමු කුඹල් පෙරහැර රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාළිගාවට පැමිණීමට නියමිතය.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇති අතර, විකල්ප මාර්ග කිහිපයක්ද හඳුන්වා දී තිබේ.
කටුගස්තොට, තැන්නේකුඹුර, අම්පිටිය සහ කොළඹ දෙසින් මහනුවර නගරයට පැමිණෙන හා නගරයෙන් පිටවන රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවරට පැමිණෙන ජනතාව සහ රියදුරන් පොලීසිය විසින් හඳුන්වා දී ඇති රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටී.

