රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබාදී ඇති බවය.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේය.
ඒ අනුව ඔහු රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එමෙන්ම දිනකට පුද්ගලයින් තිදෙනෙකුට නාමල් රාජපක්ෂ මහතා බැලීමට අවසර ලබාදී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (07) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ද අද පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

