දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
හබරණ – ත්රිකුණාමලය මාර්ගයේ කිතුල්උතුව ප්රදේශයේදී කාර් රථයක් ඉදිරියෙන් පැමිණි ත්රීරෝද රථයක ගැටීමෙන් 47 හැවිරිදි ත්රීරෝද රථ රියැදුරෙකු මියගොස් තිබේ. අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ ත්රීරෝද රථයේ පසුපස ගමන් කළ පුද්ගලයා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේදී රියැදුරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගිය පුද්ගලයා අග්බෝපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර අම්පාර, ධර්මපාල මාවතේදී කල්මුණේ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ ත්රීරෝද රථයක ගැටීමෙන් 43 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
අනතුරින් ත්රීරෝද රථයේ රියැදුරු, කාන්තාවන් දෙදෙනෙකු සහ දැරියක් තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ලබමින් සිටියදී උඩවලව ප්රදේශයේ පදිංචි කාන්තාව මියගොස් ඇත.
තවත් මාරක අනතුරක් කළුතර උතුර, දියගම ප්රදේශයේදී සිදුව තිබේ. හොරණ දෙස සිට කළුතර දෙසට ධාවනය වූ බස් රථයක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය ගල්පාත රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඔවුන් ගල්පාත ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු සහ 16 හැවිරිදි තරුණියක බව පොලීසිය සඳහන් කළේය.

