Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කළ ලොව හොඳම ආහාර සංචාරක ගමනාන්ත 50 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබේ.
එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය මෙක්සිකෝවට හිමිව ඇති අතර, ඉතාලිය දෙවැනි ස්ථානයත් ස්පාඤ්ඤය තෙවැනි ස්ථානයත් දිනාගෙන ඇත. ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ 50 වැනි ස්ථානයට පත්ව තිබේ.
TTW ආයතනය සඳහන් කරන්නේ ආහාර සංස්කෘතික උරුමය, කලාපීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් තත්ත්වයේ ආහාර අත්දැකීම්, තිරසාරභාවය සහ සංචාරකයන්ට හිමිවන සුවිශේෂී ආහාර අත්දැකීම් ඇතුළු සාධක පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇති බවයි.
මෙවර ලැයිස්තුවට යුරෝපය, ආසියා-පැසිෆික් කලාපය, ඇමරිකානු හා කැරිබියානු කලාපය, අප්‍රිකාව සහ මැද පෙරදිග ඇතුළු ප්‍රදේශවල ප්‍රසිද්ධ ආහාර සංචාරක ගමනාන්ත රැසක්ද ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ සුවඳැති කුළුබඩු, දේශීය අමුද්‍රව්‍ය සහ විවිධ සංස්කෘතික ආහාර සම්ප්‍රදායන් සංචාරකයන්ට සුවිශේෂී ආහාර අත්දැකීමක් ලබාදෙන බවත්, වීදි ආහාරවල සිට වෙරළබඩ ආපනශාලා දක්වා විවිධ රසයන් අත්විඳිය හැකි බවත් TTW වාර්තාවේ සඳහන් කර ඇත.
ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ආහාර රස විඳීමට සුදුසු ප්රමුඛ ස්ථාන 10ක්ද වාර්තාව මඟින් හඳුන්වා දී තිබේ. ඒ අනුව කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවරඑළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය එම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.
වාර්තාවට අනුව, කොළඹ බත් සහ ව්‍යංජන, කොත්තු රොටි, ආප්ප සහ නැවුම් මුහුදු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ගාල්ල සහ මීගමුව වෙරළබඩ මුහුදු ආහාර රස බැලීමට සුදුසු ගමනාන්ත ලෙස හඳුන්වා දී තිබේ. මහනුවර සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර සඳහාත්, යාපනය සුවිශේෂී දෙමළ ආහාර සම්ප්රදාය සඳහාත් ප්‍රසිද්ධ බවද සඳහන් වේ.
එමෙන්ම, ඇල්ල දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කරන ආහාර සඳහාත්, නුවරඑළිය තේ ආශ්රිත ආහාර සහ පැණිරස කෑම සඳහාත්, මිරිස්ස, හික්කඩුව සහ ත්‍රිකුණාමලය නැවුම් මුහුදු ආහාර අත්දැකීම් සඳහාත් කැපී පෙනෙන ආහාර සංචාරක ගමනාන්ත ලෙස වාර්තාවේ දක්වා ඇත.

