අද (05) ලෝක පරිසර දිනයට යෙදී ඇති අතර, පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ගෝලීය පාරිසරික අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙවර ලෝක පරිසර දින සැමරුම් “Urgent Climate Action” හෙවත් “දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග” යන තේමාව යටතේ පැවැත්වෙන බව සඳහන් වේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා උද්ගත වී ඇති පාරිසරික ගැටලු හමුවේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සහ ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මෙවර තේමාව මඟින් අවධාරණය කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය පෙන්වා දෙන්නේ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස වර්තමානයේ ලොව මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් බවයි.
ශ්‍රී ලංකාවද දේශගුණික විපර්යාසවල බලපෑමට දැඩි ලෙස ලක්ව ඇති අතර, හදිසි ජලගැලීම්, නායයෑම්, දිගු වියළි කාලගුණික තත්ත්වයන් සහ ජල හිඟය වැනි ආන්තික කාලගුණික සිදුවීම් වැඩිවී ඇති බව සඳහන් වේ.
“දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු” යන දේශීය තේමාව යටතේ මෙවර ලෝක පරිසර දිනය ශ්‍රී ලංකාව තුළ සමරන අතර, ජාතික උත්සවය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ලෝක පරිසර දිනය අදයි

