කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඊයේ (28) සීගිරිය ප්‍රදේශයේ අවන්හලක සැඟව සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබුණි.
පසුව ඔහුගේ මළ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, ප්‍රදේශයෙන් පළාගොස් සිටි සෙසු සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකර තිබේ.
මෙම ඝාතනයට සම්බන්ධ චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මීට පෙර මහජන සහයද ඉල්ලා තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

