Homeසියලුම පුවත්වසර 11කට පසු පැසිෆික් සාගරයේ එකවර සුළි කුණාටු තුනක් සක්‍රීය වෙයි

වසර 11කට පසු පැසිෆික් සාගරයේ එකවර සුළි කුණාටු තුනක් සක්‍රීය වෙයි

එල් නිනෝ සංසිද්ධිය ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ල කරමින් පවතින පසුබිමක, එම සංසිද්ධිය ආරම්භ වූ පැසිෆික් සාගරයේ මේ වනවිට එකවර සුළි කුණාටු තුනක් සක්‍රීය වී තිබේ.

වසර 11කට පසුව පැසිෆික් සාගරයේ මෙලෙස එකවර සුළි කුණාටු තුනක් සක්‍රීය වී ඇති බව සඳහන්ය.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව සහ මුහුද රළු වීම හේතුවෙන් හවායි දූපත් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල් නිනෝ තත්ත්වය හමුවේ මේ වසර තුළ චීනයට බලපෑ හත්වැනි සුළි කුණාටුව ලෙස නම් කර ඇති සවුඩෙල් සුළි කුණාටුවද එරටට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව වාර්තා වේ.

එල් නිනෝ හේතුවෙන් කොළොම්බියාවේ වර්ෂාපතනය අඩුවී නියඟ තත්ත්වයක් හටගෙන ඇති අතර, නිවෙස් වෙත බවුසර් මගින් ජලය සැපයීමටද එරට බලධාරීන්ට සිදුව තිබේ.

එමෙන්ම ඉකුත් සති කිහිපය තුළ ඉන්දුනීසියාවේ සහ ස්විට්සර්ලන්තයේ වනාන්තර ආශ්‍රිතව දරුණු ලැව්ගිනි පැතිර ගොස් ඇත්තේ එම රටවලට බලපා ඇති වියළි කාලගුණයත් සමඟය.

මෙලෙස ලොව පුරා බලපෑම් එල්ල කළ එල් නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවටද බලපෑම් එල්ල වී ඇති අතර, දිස්ත්‍රික්ක රැසක දැඩි නියඟ තත්ත්වයක් ඇති වී තිබේ.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 7කට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජලය සපයාගත නොහැකිව පවුල් 35,000කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන තිබුණද, ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් තවමත් බොහෝ ප්‍රදේශවල ජනතාව මෙන්ම සතුන්ද දැඩි පීඩාවට පත්ව සිටිති.

පොළොන්නරුවට මාස 4ක පමණ කාලයක් පුරා පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවද දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

මෙරට ගැඹුරුම වැව ලෙස සැලකෙන පොළොන්නරුව ගිරිතලේ වැවේ ජල මට්ටමද අක්කර අඩි 9,580ක් දක්වා පහත බැස තිබේ.

එමෙන්ම පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවද පහත බැසීමත් සමඟ, පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලදැයි සැලකෙන සීත මාලිගයේ නටඹුන් මේ වනවිට මතුව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments