වසර තුනක් ඇතුළත දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.
“Ceylon King Coconut Village” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට තැඹිලි වගාව නව මට්ටමකට ගෙන එමින් නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීම සහ තැඹිලි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමයි.
ඒ අනුව 2026 වසරේදී තැඹිලි ගම්මාන 75ක්, 2027 වසරේදී 80ක් සහ 2028 වසරේදී 95ක් ලෙස ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ඊයේ (02) පැවති “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන අමතමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, මේ වන විට ලෝක වෙළෙඳපොළ තුළ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඩොලර් බිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුත් විශාල වෙළෙඳපොළක් පවතින බවයි.
ඉදිරි වසර 10 තුළ එම ගෝලීය වෙළෙඳපොළ ඩොලර් බිලියන 10කට ආසන්න මට්ටමක් දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, එහි සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකාවට අත්පත් කර ගැනීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
මෙම වැඩසටහන මඟින් ග්‍රාමීය තැඹිලි වගාකරුවන්ගේ පවුල් ආදායම් සහ ගම්මානවල ආදායම් මට්ටම් ඉහළ නැංවීමට මෙන්ම, තැඹිලි කර්මාන්තය ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් බිහි කිරීමටද හැකි වන බව ඔහු සඳහන් කළේය. එමඟින් ග්‍රාමීය දිළිඳුකම අවම කිරීම සඳහාද සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, පසුගිය වසරේ ශ්‍රී ලංකාව භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 14කට ආසන්න ආදායමක් උපයා ඇති අතර, සේවා, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර සමඟ සමස්ත විදේශ ආදායම ඩොලර් බිලියන 17.2ක් පමණ වී තිබේ.
කෙසේ වෙතත්, එම කාලය තුළ ආනයන සඳහා ඩොලර් බිලියන 22කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇති බැවින්, එම ආදායම් හා වියදම් පරතරය අවම කර ගැනීමටද තැඹිලි කර්මාන්තය වර්ධනය කිරීමේ මෙම ව්‍යාපෘතිය වැදගත් වනු ඇතැයි ආචාර්ය උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

