Homeසියලුම පුවත්වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ඇරඹෙයි

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ඇරඹෙයි

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා නිල වශයෙන් ආරම්භ කරමින් වියට්නාම් එයාර්ලයින්ස් සමාගමේ පළමු මංගල ගුවන් යානය ඊයේ (16) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

වියට්නාමයේ හෝ චි මින් නුවර සිට පැමිණි වී.එන්. 671 දරන එයාර්බස් ඒ320 ගුවන් යානය රාත්‍රී 11.02ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති අතර, එය සාම්ප්‍රදායික ජල ආචාරයක් පවත්වමින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

පළමු ගුවන් ගමන සඳහා මගීන් 164 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම ගුවන් යානයෙන්ම මගීන් 172 දෙනෙකු යළි වියට්නාමය බලා පිටත්ව ගොස් ඇත.

නව ඍජු ගුවන් සේවාව යටතේ සතියකට දින තුනක්, එනම් ඉරිදා, බදාදා සහ සිකුරාදා යන දිනවල කටුනායක සහ වියට්නාමය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එක් ගුවන් ගමන් වාරයක් සඳහා පැය 4යි විනාඩි 30ක පමණ කාලයක් ගතවන බව සඳහන් වේ.

නව ගුවන් සේවාව පිළිගැනීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ත්‍රින් ති ටාම් මහත්මිය එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments