වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක ගොවීන් සඳහා වන්දි මුදල් ගෙවීම අද (04) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගා හානිවලට ලක්වූ ගොවීන්ගේ රක්ෂණ වන්දි මුදල් අද අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර තිබේ. අනෙකුත් දිස්ත්‍රික්කවල සියලුම ගොවීන්ට ලබන 15 වනදාට පෙර වගා හානි වන්දි ලබාදීමටද සැලසුම් කර ඇත.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වී, බඩඉරිඟු ඇතුළු විවිධ වගාවන්ට හානි සිදුව තිබේ.
ගොවීන් විසින් වගා හානි පිළිබඳව දැනුම්දීමෙන් පසු නිලධාරීන් විසින් අදාළ වගා බිම් පරීක්ෂා කර හානියට පත් භූමි ප්‍රමාණය තක්සේරු කර තිබේ. එම තක්සේරු කිරීම්වලින් අනතුරුව වන්දි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදාහැරීමට පියවර ගෙන ඇත.
මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රජය මේ වන විට රුපියල් මිලියන 3,000ක පමණ මුදලක් වෙන් කර ඇති බවද කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
හානි වූ වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග හය සඳහා හෙක්ටයාරයකට උපරිම වශයෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදෙන අතර, උපරිම අක්කර පහක් සඳහා මෙම වන්දි හිමිවන බවද මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

