විදේශීය වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ආරක්ෂක කණ්ඩායම් යොදවන පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් වෙත ශ්රී ලංකා නාවික හමුදාව පහසුකම් සපයන මෙහෙයුම් කටයුතු, ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්ව තිබේ.ඊයේ (20) පැවති මෙම නිරීක්ෂණ චාරිකාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා ද එක්විය. එහිදී ගාල්ල පෙට්ටිගලවත්ත ප්රදේශයේ පිහිටි අවි හා උපාංග ගබඩා සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු ද නිරීක්ෂණය කර ඇත.විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගතව වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් ශ්රී ලංකා නාවික හමුදාව ස්වාධීනව ආරම්භ කළේ 2025 ඔක්තෝබර් 03 වැනිදාය.එතැන් සිට ගතවූ වසරක කාලය තුළ සිදුකළ සාර්ථක සමුද්රීය ආරක්ෂක මෙහෙයුම් හරහා ඇමෙරිකානු ඩොලර් තිස් තුන් ලක්ෂ විසි දහසකට අධික විදේශ විනිමය ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට නාවික හමුදාව සමත්ව තිබේ.ආරක්ෂක අමාත්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සැලසුම්සහගතව ක්රියාත්මක වන මෙම මෙහෙයුම් මඟින්, දේශීය නියෝජිතයන් 10 දෙනෙකු හරහා විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් 28කට අවශ්ය පහසුකම් හා සේවාවන් සැපයීමට ද නාවික හමුදාව කටයුතු කරයි.චාරිකාව අතරතුරදී වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේදී නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය සහ මෙහෙයුම්වල ප්රගතිය පිළිබඳව නියෝජ්ය අමාත්යවරයා කරුණු සොයා බැලීය. කෙටි කාලයක් තුළ මෙහෙයුම් රැසක් සාර්ථකව සිදුකරමින් ජාතික ආර්ථිකයට දායකත්වය ලබාදීම පිළිබඳව නාවික හමුදාව ඇගයූ ඔහු, ඉදිරියේදී මෙම කටයුතු තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාමට අවශ්ය උපදෙස් ද ලබා දුන්නේය.

