ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයින් අතර හමුවක් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, කිසිදු ප්රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි පරිසරයක් නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බවයි.
දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන් මෙන්ම අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව හඳුනාගෙන, නැවත ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
පසුගිය වසර දෙක තුළ රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇතිවීමට ඉඩ නොතැබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, වංචා හා දූෂණ මෙන්ම නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වත්මන් රජයට චෝදනා එල්ල කිරීමට නොහැකිවීම හේතුවෙන් ඇතැම් කණ්ඩායම් ජාතිවාදය පදනම් කර ගනිමින් ආණ්ඩුවට චෝදනා එල්ල කරන බවද පැවසීය.
රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයින්, ඒ සඳහා සිය පූර්ණ සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.
ආගම හෝ සංස්කෘතිය පදනම් කර ගනිමින් ජාතිවාදය වැපිරීමට සිදුකරන උත්සාහයන්ට තමන් විරුද්ධ බව හින්දු පූජකවරුන් මෙහිදී පෙන්වා දී ඇති අතර, ආගමකින් සිදු කළ යුත්තේ සියලු දෙනා අතර ආදරය බෙදා හැරීම බවද සඳහන් කර ඇත.
ප්රජාතන්ත්රවාදී සමාජයක පාලකයන්ගේ ක්‍රියාකලාප සහ තීරණ ප්‍රශ්න කිරීමට ජනතාවට ඇති අයිතිය රජය පිළිගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත්, ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමට හෝ සමාජය තුළ වෛරය පැතිරවීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රචාර සම්බන්ධයෙන්ද එම නියෝජිතයින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටුවිය යුතු බවත්, ඊට සම්බන්ධ පිරිස් පිළිබඳ තොරතුරු අනාවරණය විය යුතු බවත් ඔවුන් සඳහන් කර ඇත.
ඉස්ලාම් ආගමික ග්රන්ථ සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා වී ඇති අතර, ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් එම ගැටලු විසඳීම සහ තාක්ෂණික ක්‍රමවේදයක් භාවිත කරමින් එම ග්රන්ථ පරිශීලනය සඳහා අවස්ථාව සැලසීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
ව්‍යවස්ථාදායක සභාව වැනි ජාතික මට්ටමේ පාලන ආයතන තුළ මුස්ලිම් ප්‍රජාව ඇතුළු සියලු ප්රජාවන්ගේ නිසි නියෝජනයක් පැවතීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. සෑම අවස්ථාවකදීම සියලු ප්‍රජාවන් වෙනුවෙන් නිසි නියෝජනයක් ලබාදීම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මුස්ලිම් ප්‍රජාව පසුගිය කාලයේ මුහුණ දුන් ගැටලු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා වී ඇති අතර, නිල ඇඳුම් ගැටලුව වැනි තාක්ෂණික හෝ පරිපාලනමය කරුණු හේතුවෙන් යළිත් ජාතිවාදී හෝ ආගමික නොසන්සුන්තාවක් ඇති නොවන පරිදි එම ගැටලු විසඳීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කරමින් ජාතිවාදී හෝ ආගමික වෛරී ක්‍රියාකාරකම්වලට ඉඩ නොතබා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය මෙන්ම ජනජීවිතයට බලපාන පරිසර හානි හා විනාශයන් වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සියලු ජන කොටස් අතර විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන ඇති පියවර අගය කළ කතෝලික ආගමික නායකයින්, ඒ සඳහා සිය පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.
එමෙන්ම කතෝලික ජනතාව ජීවත්වන ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ඔවුන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

