Homeසියලුම පුවත්හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටුම් යළි උත්සන්න වෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටුම් යළි උත්සන්න වෙයි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව, ඉරාන වරායන් වෙත යළි නාවික අවහිරතාවක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සමඟම දෙපාර්ශ්වය අතර පැවති තාවකාලික සටන් විරාමය අවසන් වී ඇති අතර, කලාපයේ ආරක්ෂක තත්ත්වය යළිත් උණුසුම් වී තිබේ. එම තත්ත්වය මැද විශාල පරිමාණයේ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ ද විශ්ලේෂකයන් අවධානය යොමු කර ඇත.

වාර්තා අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළ නාවික අවහිරතාව ජූනි මාසයේ සාකච්ඡාවලින් පසු ඉවත් කර තිබුණද, එම එකඟතා බිඳ වැටීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නොසන්සුන්කාරී තත්ත්වය නැවතත් උත්සන්න වී ඇත.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිත කරන නෞකාවලින් සියයට 20ක ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් මුලින් ඉදිරිපත් කර තිබූ බවත්, ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල ඉල්ලීම මත එම තීරණය වෙනස් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වෙනුවට අදාළ රටවල් අමෙරිකාව තුළ විශාල ආයෝජන සිදු කිරීමට එකඟ වී ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.

නාවික අවහිරතාව යළි ක්‍රියාත්මක කිරීමට පෙර ඉරානයේ මිසයිල, ඩ්‍රෝන සහ වෙරළාරක්ෂක මධ්‍යස්ථාන ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ද වාර්තා වන අතර, එම ප්‍රහාරයන් පිළිබඳ ඉරානයද අදහස් දක්වා තිබේ.

ලෝකයේ බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය වන බැවින්, එහි පවතින ආරක්ෂක තත්ත්වය ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සෘජු බලපෑමක් එල්ල කරමින් තිබේ.

මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර, ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් ද අදාළ බලධාරීන් විසින් ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments