අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10ක සහ මෙගාවොට් පැය 40ක ධාරිතාවකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම අද (18) පෙරවරුවේ සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබේ.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණින් ස්ටෝර්එක්ස් පෞද්ගලික සමාගමේ දායකත්වයෙන් මෙම බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපිත කර ඇත.
දහවල් කාලයේදී නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩා කර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවලදී ජාතික පද්ධතියට මුදාහැරීම බැටරි බලශක්ති ගබඩා තාක්ෂණයේ ප්‍රධාන වාසියක් ලෙස සඳහන් වේ.
ජාතික විදුලිබල ජාලයේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සඳහා මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක සමස්ත ධාරිතාවකින් යුත් බලශක්ති ගබඩා පද්ධති 13ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ස්ටෝර්එක්ස් පෞද්ගලික සමාගමේ ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට නියමිතය.
එහි පළමු බලශක්ති ගබඩා පද්ධතිය මෙලෙස අනුරාධපුරයේදී ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති අතර, ඉතිරි ව්‍යාපෘති ඉදිරි මාස දෙක තුන ඇතුළත අවසන් කර පද්ධතියට එක් කිරීමට නියමිත බව සඳහන් කෙරිණි.
මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් සමරු ඵලකය නිරාවරණය කර බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක්වූ අතර, පසුව පද්ධතිය පිහිටි පරිශ්‍රයද නිරීක්ෂණය කළේය.
ව්‍යාපෘතිය යටතේ තම්මැන්නාපුර විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මුද්‍රණ යන්ත්‍රයක් ලබාදීම සහ සාමාන්‍ය පෙළ ගණිතය හා විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 10ක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය හරහා වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තිය භාවිත කරමින් පවිත්‍ර විදුලිබල උත්පාදනය වැඩි කිරීම, ජනන පිරිවැය අඩු කිරීම සහ කාර්යක්ෂම, විශ්වාසදායක හා අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීමේ රජයේ අරමුණු ඉදිරියට ගෙන යාමට හැකිවන බවයි.
දැනට දහවල් කාලයේදී සූර්ය බලයෙන් මෙගාවොට් 3,000කට ආසන්න විදුලි ප්‍රමාණයක් ජනනය වන අතර, එම කාලයේ සාමාන්‍ය විදුලි ඉල්ලුම මෙගාවොට් 2,800ක් පමණ වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 3,100ක් පමණ වන බැවින්, දහවල් කාලයේ අතිරික්තව නිපදවන සූර්ය බලය ගබඩා කර රාත්‍රියේ භාවිතයට ගැනීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ වනවිට මෙගාවොට් 160ක බලශක්ති ගබඩා ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර, ඉන් මෙගාවොට් 130ක් සඳහා WINDFORCE ආයතනය දායකත්වය ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම මෙගාවොට් 160ක ධාරිතාව මේ වසර අවසන් වීමට පෙර ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, තවත් මෙගාවොට් 400, 250 සහ 150 වැනි ධාරිතාවන්ගෙන් යුත් බැටරි ගබඩා ව්‍යාපෘති සඳහා ලංසු කැඳවීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

