Homeසියලුම පුවත්ආනයන - අපනයන මූල්‍ය වංචාකරුවන්ට දැඩි නීති ගෙන එයි

ආනයන – අපනයන මූල්‍ය වංචාකරුවන්ට දැඩි නීති ගෙන එයි

ආනයන හා අපනයන ගනුදෙනු අතරතුර සිදුවන මූල්‍ය වංචා මැඩපැවැත්වීම සඳහා, එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන් අපරාධ නීතිය යටතේ වගකීමට ලක් කළ හැකි නව නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතින බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වත්මන් විදේශ විනිමය පනතේ පවතින නීතිමය හිඩැස් හේතුවෙන් මෙවැනි වංචා මේ දක්වා සිවිල් වැරදි ලෙස පමණක් සලකා බැලෙන බවයි.
ඒ අනුව, සැලසුම් සහගතව සිදුකරන විදේශ විනිමය වංචා අපරාධමය වරදක් ලෙස නම් කර නව රෙගුලාසි හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු ආයතන සිදුකළ විමර්ශනවලදී ආනයන සඳහා විදේශ මුදල් යොමු කළද ඊට අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වා නොමැති අවස්ථා රැසක් අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේය.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රේගු දෙපාර්තමේන්තුව සහ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇති අතර, රේගු සංකේත අවභාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී අපනයන ද දැඩි ලෙස මැඩපැවැත්වීමට නව නීති හඳුන්වාදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments