ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව ශක්තිමත් කිරීම සහ සාධාරණ, කිසිවෙකු බැහැර නොකරන ආර්ථික ප්‍රතිසාධනයක් ඇති කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය, පෞද්ගලික අංශයේ සේවා ස්ථාන සහ ප්‍රජාවන් අතර සමාජ සංවාදය වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ දෙවසරක ඒකාබද්ධ වැඩසටහන අවසන් කර තිබේ.
ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය නම් කර තිබුණේ ‘ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ ලෙසය.
මෙම වැඩසටහන හරහා සේවකයින්ට සහ ප්‍රජාවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමටත්, තම ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමටත් අවස්ථාව සලසා දී තිබේ.
ව්‍යාපෘතියේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස ‘රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්රකාශනය’ සම්මත කරගෙන ඇති අතර, එමගින් දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සමාජ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කළ බව සඳහන් වේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් ඒකක මුහුණ දුන් ඉහළ බදු, භාණ්ඩ මිල ඉහළ යාම, ක්‍රය ශක්තිය පහත වැටීම සහ අඛණ්ඩ දරිද්‍රතාව වැනි ගැටලුවලට ප්‍රතිචාරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
රජය, සේවායෝජකයින්, සේවකයින් සහ ප්‍රජාවන් අතර සංවාදය තුළින් ගැටලු විසඳීම, ආරවුල් උත්සන්න වීම වැළැක්වීම සහ සියලු පාර්ශ්වයන්ට සහභාගී විය හැකි ආර්ථික පුනර්ජීවනයකට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණු වී ඇත.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්රාන්ෂ් පෙන්වා දී ඇත්තේ ආර්ථික පුනර්ජීවනය තුළින් වඩා හොඳ රාජ්‍ය සේවා, සේවා ස්ථානවල සාධාරණ තත්ත්වයන් සහ ප්‍රජාවන්ට තම අනාගතය හැඩගස්වා ගැනීමට වැඩි අවස්ථා හිමිවිය යුතු බවයි. ජනතාවගේ ගැටලු අසා ගැනීම පමණක් නොව, ඒවාට විසඳුම් ලබාදීමට ක්‍රියා කිරීමද වැදගත් බව ඔහු අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන අරමුණු අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල දායක වී ඇත.
රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය
මිලියන 1.4කට ආසන්න රාජ්‍ය සේවකයින් අතර සංවාදය සඳහා අවකාශ නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ එක් ප්‍රධාන අරමුණක් වී තිබේ.
ඒ සඳහා සේවා ස්ථාන මට්ටම, ආංශික මට්ටම සහ ජාතික මට්ටම යන මට්ටම් තුනක ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ව්‍යාපෘතිය යටතේ සේවා ස්ථාන සංසද 87ක් සහ ආංශික සංසද 7ක් ස්ථාපිත කර තිබේ.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සේවා ස්ථානවල ලිංගික හිරිහැර වැළැක්වීම හා ඒවාට ප්‍රතිචාර දැක්වීම, දුක්ගැනවිලි විසඳීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ කාන්තා සහභාගීත්වය හා නායකත්වය වැඩිදියුණු කිරීම සඳහාද වැඩසටහන සහාය ලබාදී ඇත.
ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම
මෙරට ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක් පමණ අවිධිමත් ආර්ථිකයට අයත් වන පසුබිමක, කාන්තාවන්, තරුණ තරුණියන් සහ ප්‍රමාණවත් නියෝජනයක් නොලබන කණ්ඩායම් ප්‍රාදේශීය තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමටද මෙම ව්‍යාපෘතිය කටයුතු කර තිබේ.
ඒ අනුව ගම්පහ, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රජා සංසද 33කට සහාය ලබාදී ඇත. ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ලබාදීම සහ ප්‍රජා ප්‍රමුඛතා දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා සංසද සාමාජිකයින් 180කට වැඩි පිරිසකට පුහුණුව ලබාදී තිබේ.
මෙම වැඩසටහන හරහා රාජ්‍ය අංශය, පෞද්ගලික ව්‍යාපාර සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීමටත්, ගැටලු හා දුක්ගැනවිලි ඉදිරිපත් කර ඒවාට ප්‍රතිචාර ලබාදීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීමටත් හැකි වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත.
මෙම ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය, සේවායෝජකයින්, සේවකයින් සහ ප්‍රජාවන් අතර සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

