පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මෙම වසරේ අවසන් භාගයේදී ශ්‍රී ලංකාවට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම තත්ත්වය හේතුවෙන් ගංවතුර, ජලයෙන් යටවීම් මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලටද බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.
ආසියානු කලාපයේ රටවලට එල්නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ නවතම තක්සේරු වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව සඳහන් කර තිබේ.
එම වාර්තාවට අනුව, එල්නිනෝ බලපෑම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති අතර, මෙරටට පවතින ප්‍රධාන අවදානම වන්නේ වියළි කාලගුණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම බව සඳහන් වේ.
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබිය හැකි අතර, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ සාමාන්‍යයට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බවද වාර්තාවේ දැක්වේ.
මේ අතර, දේශගුණික අවදානම් සහ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදයේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනයද ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම අවදානම මේ වනවිට පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින්, පූර්ව සූදානම් වීම සඳහා තවමත් වැදගත් අවස්ථාවක් පවතින බවද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් ජලාශ රැසක් සිඳී ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කර තිබේ.
එල්නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට රජය මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාද ප්‍රකාශ කර ඇත.
එල්නිනෝ බලපෑමෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී වැඩි වැසි – එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්

