සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
පෙරහැර අද උදෑසන 6.00 සිට දහවල් 2.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
දේවාලය අසලින් ආරම්භ වන පෙරහැර 143 අවිස්සාවේල්ල – කොළඹ බස් මාර්ගය ඔස්සේ කඩුවෙල රාජසිංහ පාලම හරහා බණ්ඩාරවත්ත සහ බියගම ප්‍රදේශයට ගමන් කිරීමට නියමිතය.
දිය කැපීමේ චාරිත්‍රය අවසන් කිරීමෙන් අනතුරුව පෙරහැර නැවත එම මාර්ගය ඔස්සේ කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
පෙරහැර ගමන් කරන කාලය තුළ රථවාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරන රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටී.
143 අවිස්සාවේල්ල – කොළඹ බස් මාර්ගයේ වෙලේ හන්දිය ආසන්නයෙන් රථවාහන ගමනාගමනය සීමා කළහොත්, 697 බස් මාර්ගය ඔස්සේ පට්ටියවත්ත මාර්ගයට පිවිස 177 කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයටත්, එතැන් සිට රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයටත් පිවිසිය හැකි බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

