හොරණ, නාරගල පාලම ආසන්නයෙන් කළු ගඟේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් දියේ ගිලී අතුරුදන් වූ 19 හැවිරිදි තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ යාල ප්‍රදේශයේ පදිංචිව සිටි චිරාත් සස්මිත නමැති 19 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ (31) රාත්‍රී 7.30ට පමණ තරුණයින් තිදෙනා එම ස්ථානයට දිය නෑම සඳහා පැමිණ ඇති අතර, එක් තරුණයෙකු ගඟට බැස පිහිනීමට උත්සාහ කිරීමේදී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී ඔහු බේරාගැනීම සඳහා තවත් තරුණයෙකු දියට පැන ඇති අතර, ඔහුද සැඩ පහරට හසුව තිබුණද දැඩි පරිශ්‍රමයකින් පසුව ගොඩට පැමිණීමට සමත්ව ඇත.
සිද්ධිය පිළිබඳව හොරණ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සෙවීම් කටයුතු ආරම්භ කර තිබේ.
අද (01) උදෑසන පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක කණ්ඩායම්ද යොදවා අතුරුදන් වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් සිදුකිරීමට නියමිතව තිබූ අතර, ප්‍රදේශයේ කිඹුලන් ගැවසීම හේතුවෙන් ගං ඉවුරේ ගිනි මැල දල්වා ආරක්ෂිතව සිටීමට ප්‍රදේශවාසීන් සහ ඔහුගේ මිතුරන් කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා තවදුරටත් මෙහෙයුම්

