නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 3කට අධික වටිනා විදේශීය දුම්වැටි හා විද්‍යුත් දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා සමග පැමිණි අනෙක් ගුවන් මගීන් කිහිපදෙනා ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමග ගමන් මලු තැන්පත් කර පලා ගොස් ඇති බවද වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ පදිංචි වයස අවුරුදු 27ක් වන ව්‍යාපාරිකයෙකි. ඔහු ඇතුළු පිරිස අද (25) අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක වෙත පැමිණ තිබුණි.
ඔවුන් රැගෙන ආ ගමන් මලු 16ක තිබී විදේශීය “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 229,800ක් අඩංගු කාටූන් 1,149ක් සහ විද්‍යුත් දුම්වැටි 113ක් සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කෝටි 3කට අධික වටිනා විදෙස් දුම්වැටි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

