Homeසියලුම පුවත්ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහළට

ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහළට

දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ගංගා කිහිපයක ජල මට්ටම් තවමත් සුළු ගංවතුර මට්ටමක පැවතියද, ඒවා ක්‍රමයෙන් පහළ යමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්‍රදේශයේ ජල මට්ටම තවමත් සුළු ගංවතුර මට්ටමක පැවතියද එය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ඔහු පැවසීය.

ගිං ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර, බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පැවතියද එයද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් කළේය.

මිල්ලකන්ද ප්‍රදේශයේ කුඩා ගඟේ ජල මට්ටමද සුළු ගංවතුර මට්ටමක පැවතියද මේ වනවිට සාමාන්‍ය මට්ටමට පැමිණෙමින් පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අනෙකුත් ජලාශවල ජල මට්ටම්ද සාමාන්‍ය තත්ත්වයේ පවතින බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම අද දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පුරෝකථන අනුව විශාල වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින්, පවතින ගංගාවල ජල මට්ටම් ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා නොකරන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments