සයිබර් අපරාධ සඳහා භාවිතා කළ හැකි බවට සැක කෙරෙන ජංගම දුරකථන තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 51 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන සහ ඒවාට භාවිතා කරන බැටරි තොගයක් මෙහිදී රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෙම උපකරණ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී අදාළ චීන ජාතිකයින් අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර 34 හැවිරිදි චීන කාන්තාවක් සහ 35 හැවිරිදි චීන ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිටින බව සඳහන්ය.
එක් සැකකරුවෙකුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ටොෆි සහ චොක්ලට් අතර සඟවා තිබූ දුරකථන හමුවී ඇති අතර, ඔහු ඇඳ සිටි ජැකට්ටුවක සඟවා තිබූ තවත් දුරකථන කිහිපයක්ද සොයාගෙන තිබේ.
එමෙන්ම චීන කාන්තාවගේ පාවහන් තුළ සහ අනෙක් ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ තිබී ජංගම දුරකථන 87ක් සහ බැටරි 140ක් සොයාගෙන ඇති බව රේගුව සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පොලිසිය වෙත භාරදීමට කටයුතු කරමින් පවතී.
චීන ජාතිකයින් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

