අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර හයක සිර දඬුවමක් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීන්දු කළේය.
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබේ.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුව 2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණයේ අවසරයකින් තොරව අදහස් දැක්වීම සහ අධිකරණ කටයුතුවලට බාධාවන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ල 2018 මැයි 24 වැනිදා ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 19ක සිර දඬුවමක් නියම කළේය. එම දඬුවම වසර හයකින් ගෙවී යන පරිදි නියම කර තිබුණි.
පසුව 2019 මැයි 23 වැනිදා එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවක් මත ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කෙරිණි.
එම සමාව අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව, ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් සහ සෝභිත රාජකරණා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් පිටු 58කින් යුත් තීන්දුව අද ප්‍රකාශයට පත් කළේය.
එහිදී විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කළේ, ඥානසාර හිමියන්ට සමාව ලබාදීම හිටපු ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ ජනාධිපති අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් මත බවයි.
එමෙන්ම ඥානසාර හිමියන්ට සමාව ලබාදෙන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්, දියවඩන නිලමේ සහ අන්‍යාගමික නායකයින් ඉල්ලීම් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබූ බවද තීන්දුවේ දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සමාව ප්රදානය කළ යුත්තේ තමන් වෙත ඉදිරිපත් වන කරුණු හා තොරතුරු පදනම් කරගෙන බව විනිසුරුවරයා පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට හිටපු ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව අධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ එම ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපතිවරයා විසින් ප්රදානය කළ සමාව නීතිය ඉදිරියේ බලශුන්‍ය බව විනිසුරු ජනක් ද සිල්වා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
කෙසේ වෙතත්, එම සමාව ලබාදීම ජනාධිපති අතිරේක ලේකම් (නීති) විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් මත සිදුකර තිබීම හේතුවෙන්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමට අධිකරණය අපේක්ෂා නොකරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

