කඩවත, වෑබඩ ප්‍රදේශයේදී ගිනිඅවි 8ක්, ජීව උණ්ඩ 534ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු, ඝාතනයට ලක්වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පොලීසිය පවසන්නේ එම සැකකරුගේ පියා ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බවටද තොරතුරු අනාවරණය වී ඇති බවයි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත වෑබඩ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සතුව තිබී විවිධ වර්ගයේ ජීව උණ්ඩ 534ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 8ක්, අත්මාංචු යුගල දෙකක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
විදෙස්ගතව සැඟව සිටින බව කියන අපරාධකරුවෙකුගේ උපදෙස් මත මෙම මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තමන් සතුව තබාගෙන, ඔහුගේ උපදෙස් අනුව විවිධ පුද්ගලයන් වෙත ලබාදුන් බව සැකකරු ප්‍රකාශ කර ඇත.
අදාළ සැකකරු එම අපරාධකරුගේ මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඩෑන් ප්‍රියසාද් සහ සහෝදරයාගේ ඝාතන ගැන ප්‍රධාන සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

