මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අද (28) වන විට ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව බස්නාහිර පළාතේ වැඩබලන නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.
අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව අනාවරණය කළේය.
පසුගිය මාසවලට සාපේක්ෂව මේ වනවිට දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම පළාත් 7ක් තවමත් ඩෙංගු අධි අවදානම් මට්ටමේ පවතින බවද මෙහිදී අනාවරණය විය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට මහජනතාව වගබලා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

