ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (23) එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන පොලිස් වසම්වලදීය.
උහන පොලිස් වසමේ අම්පාර-මහනුවර මාර්ගයේ වෑරැන්කැටගොඩ හන්දිය ආසන්නයේදී මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ගරාජයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඔහු 39 හැවිරිදි වෑරැන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, නුවරඑළිය පොලිස් වසමේ පේරාදෙණිය-චෙන්කල්අඩි මාර්ගයේ කිලෝමීටර් 75 කණුව ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් නවතා තිබූ තවත් බස් රථයක ගැටී මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේද ගැටී තිබේ.
බරපතළ තුවාල ලැබූ 46 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචි පදිකයා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
අනතුරින් බස් රථයේ රියැදුරු සහ කාන්තාවන් දෙදෙනෙකුද සුළු තුවාල ලබා තිබේ.
වීරඹුගෙදර පොලිස් වසමේ හඳගල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් යතුරුපැදිකරුවෙකු සහ පසුපැදිකාරියක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
එමෙන්ම, හබරාදූව පොලිස් වසමේ පොල්දූව ප්‍රදේශයේදී ට්‍රක් රථයක් පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 63 හැවිරිදි පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
තැන තැන සිදුවන මාරක අනතුරු

