Homeසියලුම පුවත්රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමය දැනුම්දී ඇත.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදීමට කටයුතු කර නොමැති බව එම සංගමය පවසයි.
ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කර තිබේ.
සියලු ආකාරයේ දත්ත පද්ධති යාවත්කාලීන කිරීමද අත්හිටුවන බව එම සංගමය සඳහන් කරයි.
මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදු දිනක දත්ත පද්ධති වෙත යාවත්කාලීන නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩිව අවධාරණය කර තිබේ.
බී.එච්. මිගස්දෙනිය මහතාගේ අත්තනෝමතික ස්ථානමාරුව වහාම අවලංගු කර ඒ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව, කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට ගෙන යන උත්සාහයද සංගමය දැඩි ලෙස හෙළා දකියි.
කෙසේ වෙතත්, මෙම කරුණු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සඳහා පූර්ණ සහය ලබාදීමටත්, ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමටත් තමන් සූදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් දැනුම්දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments