Homeසියලුම පුවත්දළදා පෙරහැරෙන් ජාතික පුනරුදයක් ගොඩනගන්න අවස්ථාවක් – ඇමති හිනිදුම

දළදා පෙරහැරෙන් ජාතික පුනරුදයක් ගොඩනගන්න අවස්ථාවක් – ඇමති හිනිදුම

දළදා පෙරහැර මංගල්‍යය හුදු අලංකරණයක් පමණක් නොව, මෙරට සමාජයට වැදගත් වටිනාකම් රැසක් පිළිබිඹු කරන අවස්ථාවක් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

අනුරාධපුර යුගයේ කිත්සිරිමෙවන් රජු දවස දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් අනතුරුව දළදා මංගල්‍යය අඛණ්ඩව පවත්වාගෙන එන බවත්, මෙවරද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරහැර සමග එක්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දළදා වහන්සේ මෙරට රාජ්‍ය උරුමයේ වැදගත් සංකේතයක් බවත්, අතීතයේදී විවිධ නියං සහ දුර්භික්ෂ තත්ත්වයන් හමුවේ පවා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට රජවරුන් සහ මුතුන් මිත්තන් කටයුතු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම වර්තමාන තරුණ පරපුර විශාල වශයෙන් පෙරහැර මංගල්‍යයට එක්වීම තුළින් මෙරට ඓතිහාසික හා සංස්කෘතික උරුමය ඉදිරියට ගෙන යා හැකි තරුණ පරපුරක් සිටින බව පැහැදිලි වන බවද අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය ආයතන තුළ සංස්කෘතික සමාජ ගොඩනගා රටේ විවිධ සංස්කෘතික අවස්ථාවන් සඳහා ඒවා සම්බන්ධ කරගත යුතු බවත්, පාරම්පරික කලා සංගම් ආරක්ෂා කරමින් රාජ්‍ය අනුග්‍රහය සහිත සංස්කෘතික පිබිඳීමක් ඇති කිරීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

මේ අතර, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ගැටලුවට එරෙහිව දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මත්ද්‍රව්‍ය මර්දනයට අමතරව තරුණ පරපුර නව ආශ්වාදජනක සමාජයකට යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ධනය සහ බලය වෙනුවට මානවවාදී බැඳීම්, සංස්කෘතික උරුමය, ඉතිහාසය සමග ඇති සබඳතාව සහ සහකම්පනය වැනි කරුණු සමාජයේ නව වටිනාකම් බවට පත් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කරමින් මිනිසා සහ පරිසරය අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අතීතය පිළිබඳව නැවත සිතා බලා යහපත් දේ ආරක්ෂා කර ගනිමින් අයහපත් දේ වෙනස් කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවත්, නව සමාජ වටිනාකම් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කළ යුතු බවත් අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජිතයින් සහ ආරාධිත පිරිසක් සහභාගී වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments