ශ්‍රී ලංකාවේ නව චීන තානාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී පාසල් සිසුන් සඳහා චීන රජයෙන් ලබාදෙන නිල ඇඳුම් සහාය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. සෑම පාසල් වසරක් ආරම්භයේදීම නිසි වේලාවට නිල ඇඳුම් ලබාදීමට හැකි වන පරිදි එම සහාය වසර 3ත් 5ත් අතර දීර්ඝකාලීන රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු වී ඇත.
එමෙන්ම චීන ආධාර යටතේ ක්‍රියාත්මක ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතියේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබේ.
දිවයින පුරා පිහිටි ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
චීන රජයේ ශිෂ්‍යත්ව සහ චීන තානාපති ශිෂ්‍යත්ව යටතේ ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ.
මීට අමතරව ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද එහිදී අවධානය යොමු වූ බව සඳහන් වේ.

