නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් ලද ඉල්ලීමකට අනුව තුන් වේලම නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බවය.
එමෙන්ම දිනකට පවුලේ ඥාතීන් තිදෙනෙකුට ඔහුව බැලීමට අවසර ලබාදී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද අද (07) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.
මේ අතර දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකුද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බැලීමට බන්ධනාගාරය වෙත පැමිණ ඇත.
එමෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කළ ඉල්ලීමකට අනුව හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට ඔහුට අවසර ලබාදී තිබේ.
ප්‍රශ්නගත එයාර්බස් නඩුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

