රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස එම ලිපිය මඟින් බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී තිබේ.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට (08) පාර්ලිමේන්තුවට පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව හෙට සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

