පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
කොළඹදී අද (13) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂවල නියෝජිතයින් මෙම ඉල්ලීම ප්‍රකාශ කළහ.
මෙම හමුව සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) යන පක්ෂවල නියෝජිතයින් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ, බලයට පත්වී වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජනබලවේග ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව මෙතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැති බවයි.
එම සාකච්ඡාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, සියලු ජනකොටස්වලට බලපාන ඉඩම් ගැටලු විසඳීම සහ සුළුතර ප්‍රජාවන්ගේ ගැටලු සංවාදය මඟින් විසඳා ගැනීම යන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්ද පක්ෂ අතර එකඟතාවක් ඇති වූ බව සඳහන් වේ.
තවද, සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස්වල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගත් පොදු සංවාදයක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තම පක්ෂවල කැපවීම යළි තහවුරු කළ බව ද එම්. ඒ. සුමන්තිරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

