ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ ප්රවීණ ගායන ශිල්පිනියක වූ මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
මිය යන විට ඇය 68 වැනි වියේ පසුවූවාය.
බටහිර ආරේ වේග රිද්ම ගීත ගායනය තුළ ජනප්රියත්වයට පත්වූ මරියසෙල් ගුණතිලක මහත්මිය, ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ගායන ශිල්පිනියක ලෙස සැලකේ.
ඇයගේ ගායන දිවියේ ජනප්රියත්වයට පත් වූ ගීත අතර “කැන්ඩි ළමිස්සි”, “රහසයි සොඳුරු ජීවේ”, “සිහින නෙළුම් මල්”, “නෙළුම් මලේ පෙති කඩලා”, “කුමරාණනේ”, “යොවුන් සීන ලෝකේ” සහ “පහන් නොවන රෑ” ඇතුළු ගීත රැසක් ඇතුළත් වේ.
ඇයගේ අභාවය ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයට පිරවිය නොහැකි පාඩුවක් ලෙස සැලකෙන අතර, ඇය ගැයූ ගීත රසික හදවත් තුළ දිගු කලක් ජීවමාන වනු ඇත.

