පවතින ඉන්ධන ගැටලුව කඩිනමින් විසඳා, ඉන්ධන පිරවුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන සැපයීමට රජය පියවර ගත යුතු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එහි උප සභාපති කුසුම් සන්දනායක මහතා සඳහන් කළේ දිවයින පුරා විදේශීය සමාගම් සතු ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොලැබීම සම්බන්ධයෙන් සාමාජිකයන්ගෙන් තොරතුරු ලැබී ඇති බවයි.
ඉන්ධන ප්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමටද ගැටලු මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. විදුලි බිල්, සේවක වැටුප්, අනෙකුත් වියදම් සහ බැංකු ණය ගෙවීම් ඇතුළු වගකීම් ඉටු කිරීමට ඉන්ධන අලෙවියෙන් ලැබෙන ආදායම වැදගත් බවද සඳහන් කළේය.
මේ අතර, ඉන්ධන ලැබෙන පිරවුම්හල් මගින් එම ඉන්ධන කඩිනමින් පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවද බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
රජය විදේශීය ඉන්ධන සමාගම් සමඟ සාකච්ඡා කර පවතින ගැටලුවට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බවද කුසුම් සන්දනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

