Homeසියලුම පුවත්2027 අයවැය ක්‍රියාවලිය අදින් ඇරඹෙයි

2027 අයවැය ක්‍රියාවලිය අදින් ඇරඹෙයි

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය සැප්තැම්බර් 25 වැනිදා රැස්වූ අවස්ථාවේදී අයවැය ක්‍රියාවලිය සඳහා අදාළ දින වකවානු අනුමත කර තිබේ.

ඒ අනුව නොවැම්බර් 12 වැනිදා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස 2027 අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සිදුකෙරේ.

නොවැම්බර් 13 සිට 20 දක්වා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අයවැය විවාද පැවැත්වෙන කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60කත් විපක්ෂයට සියයට 40කත් කාලයක් වෙන්කර ඇති අතර, කාරක සභා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙස විවාද කාලය වෙන්කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments