Homeසියලුම පුවත්මරණදඬුවමට නියම වූ අනෝජන් වෙනුවෙන් තානාපති කාර්යාලවලට ඉල්ලීම්

මරණදඬුවමට නියම වූ අනෝජන් වෙනුවෙන් තානාපති කාර්යාලවලට ඉල්ලීම්

සෞදි අරාබියේදී මරණදඬුවම නියම වූ බව කියන ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාජා අනෝජන් බේරාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ, සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් ඊයේ (23) පස්වරුවේ මෙම ඉල්ලීම සිදුකළ බවය.

මේ අතර, අනෝජන්ගේ ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේ හින්දු භක්තිකයන් පිරිසක් පහන් දල්වා සත්‍යග්‍රහයක් ද පවත්වා තිබේ.

එම තරුණයා බේරාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් සහ සෞදි රජයෙන් ඉල්ලා සිටින බව එම සත්‍යග්‍රහයට එක්වූ බොරැල්ල පත්තිනි දේවාලයේ ප්‍රධාන පූජක එස්. විනායගන් කුරුක්කල් මහතා පැවසීය.

මේ අතර, අනෝජන්ට නියම වූ මරණදඬුවමෙන් ඔහු නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් මැදිහත්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔවුන් ඊයේ මාලදිවයිනට ගොස් එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා හමුවී අදාළ ශ්‍රී ලාංකිකයා බේරාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

සෞදි රජය සමඟ මාලදිවයින සමීප සබඳතා පවත්වන බැවින් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකළ බව ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.

එමෙන්ම සිවරාජා අනෝජන් මරණදඬුවමෙන් නිදහස් කර ගැනීම සඳහා ඔවුන් දෙදෙනා ඉදිරි දින කිහිපය තුළ සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිත බව ද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments