පසුගිය පැය 24 තුළ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි, කැලණි සහ කළු ගඟ ආශ්රිත ඉහළ ප්රදේශවල සැලකිය යුතු වැසි තත්ත්වයක් වාර්තා වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම වර්ෂාපතනය හේතුවෙන් ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි.
මහවැලි ගඟේ ඉහළ ප්රදේශ වන නාවලපිටිය, නානුඔය සහ වටවල ආශ්රිතව මිලිමීටර් 200කට ආසන්න හෝ ඇතැම් ස්ථානවල මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇත.
ඒ හේතුවෙන් නාවලපිටිය සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාවට ගංවතුර අවදානම පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
කැලණි ගඟේ ඉහළ ප්රදේශ වන ලක්ෂපාන, නෝර්වුඩ් සහ අවට ප්රදේශවල මිලිමීටර් 100ත් 150ත් අතර වැසි වාර්තා වී ඇති අතර කිතුල්ගල ඇතුළු ප්රදේශවල ජල මට්ටම් ඉහළ යාමක් දක්නට ලැබේ.
හංවැල්ල සිට අවිස්සාවේල්ල දක්වා සහ අවිස්සාවේල්ල, කිතුල්ගල, නෝර්වුඩ් අතර පහත් බිම් ප්රදේශවල ගංවතුර අවදානමක් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.
රත්නපුර ඉහළ ප්රදේශවලටද මිලිමීටර් 100කට ආසන්න වැසි ලැබී ඇති අතර ඇතැම් පහත් බිම් යටවීමේ අවදානමක් පවතී.
කෙසේ වෙතත් මේ වන විට විශාල ගංවතුර ආපදා තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා නොකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

