Homeසියලුම පුවත්කොළඹ වරායේ තෙල් ටැංකියක කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයට හානි

කොළඹ වරායේ තෙල් ටැංකියක කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයට හානි

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ගබඩා ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරයේ කිලෝමීටර් තුනකට අධික ප්‍රදේශයක් දූෂණයට ලක්ව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.පසුගිය නොවැම්බර් 21 වැනිදා කොළඹ වරායේ JCT අංක 108 දරන තෙල් ටැංකියෙන් මෙම කාන්දුව සිදුව තිබේ. ඒ හේතුවෙන් තෙල් නාගරික ජලාපවහන පද්ධතියට එක්වී, එම ඇළ මාර්ගය ඔස්සේ මුතුවැල්ල වෙරළ තීරයෙන් මුහුදට ගලා ගොස් ඇති බව සඳහන් වේ.අදාළ තෙල් ටැංකියේ ගබඩා ධාරිතාව ටොන් 1,000ක් පමණ වන අතර, කාන්දුව සිදුවන අවස්ථාවේදී එය සම්පූර්ණ ධාරිතාවයෙන් පුරවා තිබී ඇත. එහි ගබඩා කර තිබී ඇත්තේ සමුද්‍රීය ගෑස් තෙල් වර්ගයකි.හානි වූ හෝ සිදුරක් ඇති වූ ජලය බැහැර කිරීමේ කපාටයක් හරහා මෙම තෙල් කාන්දුව සිදුවන්නට ඇති බවට සැක පළ කර තිබේ.නොවැම්බර් 21 වැනිදා උදෑසන කාන්දුව ආරම්භ වී ඇති අතර, එදින පෙරවරුවේම ඒ පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර ඇත. අනතුරුව එහි නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කර අවශ්‍ය ප්‍රතිචාර ක්‍රියාමාර්ග සඳහා තාක්ෂණික මඟපෙන්වීම් ලබාදී තිබේ.එදින පෙරවරු 10.30 පමණ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් තෙල් කාන්දුව නතර කර තිබුණද, ඒ වන විටත් කාන්දු වූ තෙල්වලින් කොටසක් ජලාපවහන ඇළ මාර්ගයට එක්වී තිබුණි.මෙම සිදුවීම හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරයේ බෝට්ටු නැංගුරම්ලා තබන ස්ථානයද ඇතුළුව කිලෝමීටර් තුනකට අධික වෙරළ ප්‍රදේශයක් දූෂණයට ලක්ව ඇත.කාන්දු වූ තෙල් පාලනය කිරීම හා ඉවත් කිරීම, පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම සහ බලපෑමට ලක්වූ වෙරළබඩ පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments