Homeසියලුම පුවත්වියළි මිරිස් කිලෝවක තොග මිල රු. 2,500 ඉක්මවා යාමේ අවදානමක්

වියළි මිරිස් කිලෝවක තොග මිල රු. 2,500 ඉක්මවා යාමේ අවදානමක්

වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක තොග මිල ඉදිරියේදී රුපියල් 2,500 ඉක්මවා යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා පවසන්නේ, රේගු භාරයේ රඳවා ඇති වියළි මිරිස් අඩංගු බහාලුම් කඩිනමින් නිදහස් නොකළහොත් වෙළෙඳපොළේ වියළි මිරිස් හිඟයක් ඇතිවිය හැකි බවයි.

මේ වන විට වියළි මිරිස් අඩංගු බහාලුම් 120කට ආසන්න සංඛ්‍යාවක් රේගු ගබඩාවල රඳවා තිබේ. ආනයනකරුවන් අවශ්‍ය ලේඛන කටයුතු සම්පූර්ණ කර, රේගු ගාස්තු ඇතුළු ගෙවීම් සිදුකර, පරීක්ෂණ කටයුතුද අවසන් කර තිබුණද, ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කළේය.

මීට පෙර රුපියල් 1,050ක් පමණ වූ වියළි මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් 2,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය. මෙම මිල තවදුරටත් ඉහළ ගොස් රුපියල් 2,500 සීමාව ඉක්මවා යා හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.

මෙම තත්ත්වය වියළි මිරිස් කුඩු නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවලටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් කර්මාන්තශාලා රැසක නිෂ්පාදන කටයුතු නතර කිරීමට සිදුව ඇති අතර, එමඟින් ව්‍යාපාරිකයන්ට විශාල පාඩුවක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් රේගු භාරයේ ඇති වියළි මිරිස් තොග කඩිනමින් නිදහස් කර ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස පී. සුබ්‍රමනියම් මහතා රජයෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments