මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.
එම කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත.
සයිබර් අපරාධ, නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ අන්තර්ජාල වංචා මැඩපැවැත්වීම සඳහා පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.
නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බවද නිලධාරීන් කාරක සභාව හමුවේ සඳහන් කර ඇත.
මෙරට රැඳී සිටිමින් සයිබර් අපරාධ ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති අතර, අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් ඔවුන් පිටුවහල් කිරීමටද කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.
සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික හා නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින් මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවද නිලධාරීන් පැවසීය.
එමෙන්ම නව බඳවා ගැනීම් ලැබූ නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුව ලබාදීමටද කටයුතු කරමින් පවතින බව සඳහන් කර තිබේ.
සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශන වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.
විශේෂයෙන් ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කිරීමේදී පවතින බාධා අවම කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බවද නිලධාරීන් පෙන්වා දී තිබේ.
මීට අමතරව, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටුවලින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය භාවිත කිරීම සහ මහජන සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කමද කාරක සභාවේදී අවධාරණය කර තිබේ.

